නීරෝගි තාරුණ්‍යකට පෝෂණීය අත්වැලක්

ඔබත් අවුරුදු 11ත් – 12ත් අතර පසුවන යෞවන වයසේ පසුවන්නෙක්ද?කාර්යබහුල ජීවිතයත් සමඟ ඔබ මානසිකව හා ශාරීරිකව සෞඛමත් ජීවිතයක් ගත කරනවාද යන්න ගැන ඔබ මඳක් සිතා බැලුවේද? එසේ නොමැති නම් කාර්යබහුල ජීවිතයෙන් විනාඩි කිහිපයක්  ගෙන ඔබගේ අනාගතය සාර්ථක කර ගැනීමට තරුණ වියේදී ඔබ අනුගමනය කළ යුතු නිවැරදි ආහාර පුරුදු හා ශාරීරික අභ්‍යාස ගැන මඳක් සිතා බලන්න. ඒ මන්දයත් මේ පසුවන්නේ ඔබගේ ජීවිත කාලය තුල වර්ධනයේ සිදුවන හැරවුම් ලක්ෂය වීමයි.එය හොඳ අතට හරවනවාද නරක අතට හරවනවාද යන්න ඔබ සතු වගකීමකි.වයස අවුරුදු 10-11 පසුවනවාත් සමඟම ඔබගේ කායික මෙන්ම මානසික වර්ධනයක්ද සිදුවේ.එපමණක්ම ද නොව හොර්මෝනමය වෙනස්වීම් බුද්ධි වර්ධනය,ලිංගික පරිනතභාවයට පත්වීම් හා හැගීම් වෙනස්වීමක් ද මෙම අවධියේදී සිදු වේ. එම නිසා මෙම අවධිය ජීවිත කාලයේ අනතුරට භාජනය විය හැකි කාලයක් ලෙස සැලකිය හැක.

තරුණ විය පෝෂණය පිලිබඳව සලකා බලන විට කැලරි සහ පෝෂ්‍ය පදාර්ථ වල ඉහල ඉල්ලුමක් ඇති බව පර්යේෂණ වලින් අනාවරණය වී ඇත.එයට හේතුව වනුයේ කෙටි කාල පරාසයක් තුළ සීඝ්‍ර වර්ධන වේගයක් පෙන්නුම් කිරීමයි.එපමණක්ද නොව යොවුන්විය පෝෂණය පිළිබඳව සලකා බලන කල මෙම අවධියේදී ජීවන රටාවේ හා ආහාර පුරුදු වල සිදුවන වෙනස්කම් පෝෂණ අවශ්‍යතා සහ ආහාර පරිභෝජනයට අතිශයින් බලපෑමක් සිදුකරන බවද මෙම අවධියේදී තරුණ තරුණියන් ස්වාධීනත්වයට මං පාදා ගන්නා  බැවින් සෞඛ්‍යට අහිතකර ආහාර තෝරා ගැනීමට මොවුන් පෙළඹේ.

ඉහත සඳහන් පෝෂණ ගැටළුවල හානිකර විපාක වනුයේ යෞවන අවදියේදී ඕනෑම කාලයක සිදුවන පෝෂණ දුර්වලතා බුද්ධිමය වර්ධනය අඩුවීමටත්, ඉගෙනීමේ හැකියාවන් දුර්වල කීරීමටත් සහ පාසලේ ක්‍රියාකාරී ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නොවීමට මඟ පෑදීමයි.යෞවන වියේදී ජීවන රටා සහ ආහාර පුරුදු වෙනස්වීම් හානිකර අන්දමින් සෞඛයට බලපාන බව පර්යේෂණ වලින් සනාථ වී ඇත.

බොහෝවිට පාසල් සිසු සිසුවියන්, උපකාරක පන්ති සඳහා සහභාගී වන සිසු සිසුවියන් මෙන්ම රැකියා වල නියුතු තරුණ තරුණියන් ද පහසුවෙන් ලඟා විය හැකි ක්ෂණික ආහාර හා සකස් කල ආහාර සඳහා වැඩි කැමැත්තක් දක්වයි .මෙම ආහාර අඩු මිලට ගතහැකි වීමද මොවුන්ට රුකුලක් වේ.නමුත් මෙම ආහාර වල මේදය හා සීනී බහුල වන අතර අඩු පෝෂණ තත්වයකින්ද සමන්විත ය.එම සකස් කල ආහාර වල  ට්‍රාන්ස් මේදය(Trans fat) හා සංතෘප්ත මේද( saturated fat) අම්ල බහුලව අඩංගු වන බැවින්, ජීවිතයේ පසු අවධියක එනම් මැදිවියේ දී අධිරුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව වැනි බෝ නොවන රෝග වැළදීමට අවදානමක් ඇත.එමෙන්ම පැණිරස ආහාර බහුලව ගැනීමෙන් තරුණ වියේදීම දියවැඩියාව වැළදිය හැකි බව පර්යේෂණ වලින් සනාථ වී ඇත.බොහෝ විට තරුණ වියේදී කණ්ඩායම් ලෙස ආහාර ගැනීම සාමාන්‍ය දෙයකි. එම අවස්ථාවන් වලදී පැණි බීම ආදිය නිතර පරිභෝජනය කිරීමෙන් අහිතකර ප්‍රතිඵලය රැසකට මුහුණ දීමට සිදු වේ.එමගින් කැල්සියම් අයන අවශෝෂණය අඩු කිරීම නිසා කැල්සියම් හා පොස්පරස් නොලැබී යාම නිසා ශක්තිමත් අස්ථි වර්ධනයක් සිදු නොවේ.එමගින් කාන්තාවන්ට බොහෝ විට අඩු වයස් සීමාවකදී ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්වයන්ට මුහුණ දීමට සිදු වේ.එමෙන්ම පැණි බීම අධික සීනි ප්‍රමාණයකින් සමන්විත වන බැවින් දියවැඩියාව වැනි රෝග තත්වයන් අඩු වයසේදීම වැළඳිය හැක.එමෙන්ම වැරැදී ආහාර පුරුදු මඟින් තරබාරු බව, දත් දිරායාම වැනි අහිතකර ප්‍රතිඵල රැසක්ද ඇතිවිය හැක.

ඉහත සඳහන් පෝෂණ ගැටළු අවම කර ගැනීමට නිවැරදි ආහාර පුරුදු හා නිවැරදි ආහාර තේරීමකට යොමුවිය යුතුය.ඒ සඳහා ඔබ දිනකට අවශ්‍ය කාබෝහයිඩ්‍රේට ප්‍රමාණය ලබාගත යුත්තේ එළවලු පලතුරු මෙන්ම, අවම සකස් කිරීමකට ලක්කළ ධාන්‍ය වලිනි.එමඟින් ඔබට දිනකට අවශ්‍ය තන්තු ප්‍රමාණය ද ලබාගත හැක.එමෙන්ම දිනකට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය වැඩිපුර ලබාගත හැකි වන්නේ සත්ත්ව ප්‍රෝටීන මඟිනි.එමනිසා මස්මාළු, කිරි, බිත්තර ආදි ආහාර ඔබ එදිනෙදා ආහාර වේලට එක් කර ගත යුතුය.එමගින් ඔබට නීරෝගී දිවියක් පවත්වා ගැනීමට අවශ්‍ය යකඩ ප්‍රමාණය ලබාගත හැක.මේදමය ආහාර සලකා බැලීමේදී අසංතෘප්ත මේදයෙන් සමන්විත කුඩා මාළු කජු වර්ග හා එළවලු තෙල් ආහාරයට ගැනීම ගුණදායකය.සිරුරට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ලබා ගැනීමට ඔබ නැවුම් එළවලු පලතුරු ආහාරයට ගැනීම වැඩි කල යුතුය.එමෙන්ම දිනකට වතුර ලීටර  2ක් පානය කිරීමද ඔබගේ නිරෝගී සෞඛ්‍යට අනිවාර්ය වේ.ඉහත සඳහන් කල ආකාරයට ආහාර ගැනීමෙන් තරුණ ඔබට ජීවිතයේ සොඳුරු අවධිය සතුටින් ගතකල හැක.

Rate this article1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)

Loading...

Translate »