නීරෝගී දරු උපතකට නිසි ගර්භණී පෝෂණය..

relationship portrait of a young adult mother as she holds and kisses her newborn baby

නීරෝගී දරුවෙකු බ්හි කිරීම බොහෝ විවාහපත් කාන්තාවන්ගේ සිහිනයයි. එම සිහිනය සැබෑ කර ගැනීමට කාන්තාවන් ගර්භණීභාවයට පත් වීමට පෙර සිටම සූදානම් විය යුතු වේ.ගැබ් ගැනීමෙන් පසුව පමණක් තමන්ගේ සහ දරුවාගේ පෝෂණය පිළිබදව අවධානය යොමු කිරීම නුවණට හුරු නොවේ.ගර්භණී වීමට පළමුව ඒ සදහා ශාරීරිකව මෙන්ම මානසික වශයෙන්ද සූදානම් විය යුතුය.ඒ සැම සදහා පූර්ව ගර්භණී අවධිය තුල තම පෝෂණය පිළිබදව අවධානය යොමුකල යුතුවේ.

දරුවෙකු කුස තුල වැඩීමට අවශ්‍ය සියළු පරිසරය සපයනු ලබන්නේ මවයි. කුස තුල වැඩෙනා දරුවා තමන්ට අවශ්‍ය සියළුම පෝෂ්‍යය ද්‍රව්‍යයන් ලබා ගන්නේ මවගේ දේහයෙනි. එනිසා මවගේ පෝෂණ තත්ත්වය දරුවාගේ වර්ධනයට සෘජුවම බලපානු ලබයි. පූර්ව ගර්භණී අවධිය තුල දී නිසි පෝෂණයක් ලබා  ගර්භණී අවධිය තුල ද ශාරීරිකව හා මානසිකව නීරෝගීව සිටීම  නීරෝගී දරු උපතකට උපකාරී වේ.නිසි පෝෂණ තත්ත්වයක් පවත්වා ගෙන යාම සදහා අවශ්‍ය වන වැදගත් කරුණු කිහිපයක් පහත සදහන් කර ඇත.

පූර්ව ගර්භණී අවධියේදී නිසි දේහ බර (උසට සරිලන බර) පවත්වාගෙන යාම ඉතාම වැදගත් කරුණකි.අඩු බර සහ අධි බර යන තත්ත්වයන් දෙකම ගර්භණී වීමට ඇති ඉඩකඩ සීමා කරනු ලබයි. අඩු බර සහිත කාන්තාවන්ගේ සහ අධිබර සහිත කාන්තාවන්ගේ සරු බව (ගැබ් ගැනීමට ඇති හැකියාව) අඩු බව විවිධ පරීක්ෂණ මගින් සනාථ කර ඇත. අධි බරැති කාන්තාවන්ගේ දේහයේ පවතින මේද ප්‍රමාණය නියමිත ප්‍රමාණයට වඩා වැඩිය.එය ඔසප් චක්‍රය අක්‍රමවත් කිරීමටත්, ඩිම්බ මෝචනය ප්‍රමාද කිරීමටත් හේතු වේ. එමගින් ගැබ් ගැනීමට ඇති අවස්ථාවන් සීමිත වේ. අධි බරැති සහ අඩු බරුති ගර්භණි මවුවරුන් තම දරුවන් බිහි කිරීමේදී විවිධ සංකූලතාවයන්ට ලක් විය හැකිය. එහිදී අඩු බර දරු උපත්, අසාමාන්‍ය දරු උපත්, මළ දරු උපත්, ළදරු මරණ, මාතෘ මරණ ඇති වීමේ අවධානම වැඩිය.

පූර්ව ගර්භණී අවධිය තුලදීම අවශ්‍ය පරිදි ප්‍රමාණවත් සමබල ආහාර රටාවකට හුරු වීම මගින්ද නීරෝගි දරු උපතකට මග පහසු කරයි. සමබල ආහාර වේලක් යනු ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍යය ද්‍රව්‍යය සහ ශක්තිය නියමිත ප්‍රමාණයන්ගෙන් ලැබෙන ආහාර වේලකි. එමගින් දේහයේ ඇති විය හැකි ක්ෂුද්‍ර පෝෂක ( විටමින වර්ග සහ ඛනිජ ලවණ ) ඌණතාවයන් මග හරවා ගත හැකි වේ. ගර්භාෂය තුල වැඩෙන දරුවාට අවශ්‍ය පෝෂණය ලැබෙනුයේ මවගේ දේහයෙන් බැවින් මවගේ දේහය තුළ ප්‍රමාණවත් පෝෂ්‍යය ද්‍රව්‍යය ගබඩාවන් පූර්ව ගර්භණී කාලය තුළදීම නිසි ලෙස පවත්වා ගැනීම උචිත වේ. ගර්භණී අවධියට ප්‍රථමව කාන්තාවන් විසින් සාර්ථක දරු උපතකට සහ නිසි පෝෂණයට යකඩ, ෆෝලික් අම්ලය, කැල්සියම්, අනෙකුත් ඛනිජලවණ සහ විටමින වර්ග ලබා ගත යුතුය. යකඩ ෆෝලික් අමිල, කැල්සියම් පෙති සෞඛ්‍යය නිළධාරී කාර්යාලයෙන් පවා නොමිලයේ පූර්ව ගර්භණී සහ ගර්භණී කාලය තුළ ලබා ගත හැක.

sa

 ෆෝලික් අමිලය පූර්ව ගර්භණී අවධියේදී (ගර්භණී වීමට මාස 03 ට පමණ පෙර) සිටම ලබා ගැනීම දරුවාගේ මොළය ඇතුළු ස්නායු පද්ධතිය නිසි ලෙස වර්ධන වීමට දායක වේ. නිසි පරිදි දේහය තුල යකඩ, කැල්සියම්, විටමින් B 12, විටමින් A වැනි ක්ෂුද්‍ර පෝෂක ගබඩාවන් පවත්වාගෙන යාමෙන් ගර්භණි අවධියේ සහ පසු ප්‍රසව අවධියේදී මව සහ දරුවා රක්තහීනතාවයෙන්, කැල්සියම් සහ අනෙකුත් පෝෂ්‍ය ද්‍රව්‍යය ඌණතාවන්ගෙන් වලකාලනු ලබයි. ඒ සදහා පූර්ව ගර්භණී කාලය තුල වැඩි වැඩ්යෙන් පළතුරු එළවළු ආහාරයට එක් කරගත යුතුය. එසේම රනිල බෝග, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, ධාන්‍ය, අල වර්ග,මස්, මාළු සහ ඒවා ආශ්‍රිත නිෂ්පාදන, රට කජු වැනි ඇට වර්ගද ප්‍රමාණවත් පරිදි ආහාරයට ගත යුතුය.

article

මෙහිදී සෞඛ්‍යයට අහිතකර මේදය, තෙල් වර්ග (සංතෘප්ත මේදය/තෙල්) වෙනුවට සෞඛ්‍යයට හිතකර අසංතෘප්ත මේදය, තෙල් වර්ග භාවිතා කිරීමට හුරු වීම වැදගත් වේ. උදාහරණ ලෙස පොල්තෙල් භාවිතය අඩුකර සූරියකාන්ත තෙල්, රටකජු තෙල් ආදිය භාවිතා කළ හැකිය. තෙල් සහිත මස් වර්ග( ඌරු මස්, හරක් මස්) වෙනුවට තෙල් අඩු ( කුකුල් මස්) භාවිතා කිරීම වඩාත් උචිතය. නොඑසේ නම් මස්වල පවතින මේද කොටස් ඉවත් කර ආහාරයට එක් කර ගැනීමට හැඩ ගැසිය යුතු වේ. අධික ලෙස තෙල් ආහාරයට ගැනීම පුර්ව ගර්භණී මෙන්ම ගර්භණී අවධියේදී අනවශ්‍යෙලස දේහ බර වැඩි වීමට හේතු වේ.

ආහාර පිස ගැනීමේදී ක්ෂුද්‍ර පෝෂක විනාශ නොවි යන අයුරින් පිසගත යුතු අතර, ඒවායේ අවශෝෂණ වැඩි වන පරිදි විවිධ ද්‍රව්‍යයද ආහාරයට එක් කර ගත යුතුය. උදාහරණ ලෙස දෙහි යුෂ හෝ උමිබලකඩ ස්වල්පයක් සලාදවලට එක් කිරීම සිදුකල හැකිය.

කුඩා මාළු කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණවත් ලෙස ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කැල්සියමි, පොස්පරස්, ප්‍රෝටීන, විටමින් වර්ග ලබාගත හැකි වේ. අවශ්‍ය පරිදි කැල්සියම් ලබා නොගැනීම පූර්ව ගර්භණී කාලය, ගර්භණී කාලය තුළදී මෙන්ම ගර්භණී කාලයෙන් පසුව දත් සහ කෙස් වර්ග වර්ධනය අඩාල වීම අස්ථි ඝනත්වය අඩු වීමට හේතු වේ.

පූර්ව ගර්භණී අවධිය තුලදී ගැස්ට්‍රයිටිස්, දිවැඩියාව, හෘද රෝග, අක්මා හා වකුගඩු රෝග මෙන්ම ආසාදනවලින් වැළකී සිටිය යුතුය. නැතිනම් ගර්භණී කාලයේදී මෙන්ම දරු ප්‍රසූතියේ දී ද විවිධ ගැටළුවලට මුහුණ දීමට සිදුවේ.සමහර රෝග පාලනය කිරීමට විවිධ ඖෂධ වර්ග, එන්නත් වර්ග ලබා ගැනීමට සිදුවන අතර ඒවා කුස තුළ සිටින දරුවාගේ වර්ධනයට සෘජුවට බලපානු ලබයි. එම හේතුව නිසා ගබ්සා වීම් ද සිදු විය හැකිය. එම නිසා ගර්භණී කාලය තුළ එම රෝගයන් පාලනය කිරීමට වඩා පූර්ව ගර්භණී කාලය තුළදීම එම රෝගවලින් වැළකී සිටීම නුවණට හුරුය.

නිවැරදි ආහාර රටාවකට හුරු වීමෙන් පමණක් නීරෝගී දරුවකු ලබා ගත නොහැක. ඒ සදහා නිවැරදි ආහාර රටාව සමගම නිවැරදි ව්‍යායාම රටාවක්ද අනුගමනය කළ යුතු වේ. එය නිසි දේහ බර පවත්වාගෙන යාමටද මානසික සෞඛ්‍යය නංවාලීමටද ඉවහල්වේ.

sa1

මෙලෙස පූර්ව ගර්භණී කාලය තුළදීම නිවැරදි පෝෂණ හා ව්‍යායාම රටාවකට හුරු වීමෙන් ගර්භණී කාලය තුලදී වි‍ශේෂ ආහාර රටාවකට හුරු වීම අත්‍යවශ්‍ය නොවේ. ගර්භණී වීමට ප්‍රථවම ලබා ගන්නා නිසි පෝෂණය නිසි දරු උපතකට සහ නීරෝගී දරුවකු ලබා ගැනීමට මග පෙන්වයි. ඔබත් නීරෝගි දරුවකු ලබා ගැනීමට සිහින දකින කාන්තාවක් නම් ඔබගේ සහ ඔබ පතන දරුවාගේ නීරෝගී කම වෙනුවෙන් පූර්ව ගර්භණී අවධියේ සිටිම නිවැරදි ආහාර රටාවකට, නියමිත ප්‍රමිණයෙන් දේහ බර පාලනයට, ව්‍යායාම කිරීමට, බෝවන සහ බෝනොවෙන රෝග වලින් වැළකී සිටීමට යොමුවන්න.

Rate this article 1 Star2 Stars3 Stars4 Stars5 Stars (3 votes, average: 5.00 out of 5)

Loading...

Translate »