ශරීරය ලෙඩ කරන පැණි බිම වලින් ඇත් වී ගුණයෙන් පිරි දේශීය පාන වර්ග වලට හුරු වෙමු

වසර 2500 කට අධික කාලයක් තුළ අපටම ආවේණික වූ ප්‍රෞඪ ජාතියක් ලෙස වැජඹුණු ශ්‍රී ලාංකික ජන සමාජය තුළ අපටම ආවේණික වූ ආහාර පාන රටාවක් තිබුණි. ඒ තුළ අප මුතුන්මිත්තන් ඉතා නිරෝගී ජවසම්පන්න පරපුරක් ලෙස ජිවත් වුහ. ඒ නිරෝගී ජවසම්පන්න බව තුළින් විස්මිත නිර්මාණ ලොවට දායාද කළහ. එසේම හේනේ, කුඹුරේ නිරතුරුව කය වෙහෙසා වැඩකළ ඔවුහු දිගු කාලයක් ජිවත් වුහ. තමන්ගේ ගොවිතැනින් නිපදවාගත් වී, කුරක්කන්, වැනි ධාන්‍ය, අල, බතල, කොස්, එළවළු වර්ග, පලතුරු ඔවුනට ශක්තිය හා පෝෂණය සැපයු ආහාර විය. මේ ආහාර වලට අමතරව අවට පරිසරයේ තිබු විවිධ ඖෂධීය ශාකවල කොළ, පොතු, මුල්, මල්, ආදිය තම්බා පිළියෙළ කරගත් දේශීය පාන වර්ගද ඔවුන්ගේ ජිවන රටාවේ කොටසක් විය. අප මුතුන්මිත්තන් සෞඛ්‍ය සම්පන්නව දීර්ග කාලයක් ජිවත් වීමේ එක් රහසක් වුයේ මෙම වටිනා ඖෂධීය පානයන්ය.

නමුත් අද වන විට අප ජාතියට සිදුව ඇත්තේ කුමක්ද? වත්මන් පරපුරේ බොහෝ දෙනෙක් ඉහත සදහන් කළ දේශීය පානයන් ගැන දන්නෙවත් නැත. ඒ වෙනුවට විවිධ වෙළද නාම වලින් වෙළදපොල ආක්‍රමණය කරගෙන ඇති පැණි බිම වර්ග වලට මිනිස්සු පුරුදු වී සිටිති. විශේෂයෙන්ම වත්මන් තරුණ පරපුර හා පාසල් දරුවන් මේ සදහා වැඩියෙන් ඇබ්බැහි වී සිටිති. බොහෝදෙනෙක් දිනපතා පැණි බිම පානය කරන්නට පෙළඹී ඇති අතර ඇතැම් අය ආහාර ගන්නා විටද මේවා පානය කිරීම පුරුද්දක් කරගෙන සිටිති. නමුත් මෙය ඉතා අහිතකරය. අද වනවිට ශ්‍රී ලංකාව තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බෝ නොවන රෝග වලට එක් ප්‍රධාන හේතුවක් ලෙස පැණි බිම පානය  හැදින්විය හැකිය.

සමාජයේ නොයෙකුත් ක්ෂේත්‍ර වල ජනප්‍රිය චරිත සම්බන්ධ කරගනිමින් පුළුල් වෙළද ප්‍රචාරක ජාලයක් තුළින් පැණි බිම සමාගම් තම නිෂ්පාදන ජනතාවට සමීප කරමින්, පැණි බිම පානය කිරීමේ සමාජ රැල්ලක් නිර්මාණය කර ඇත. නමුත් මෙම පැණි බිම වල අඩංගු වන්නේ ජලය, කාබන්ඩයොක්සයිඩ්, සීනි, වර්ණක, හා රසකාරක පමණක් බව මේවා පානය කරන බොහෝ දෙනෙක් නොදනිති. මේවා පානය කිරීමෙන් කිසිදු පෝෂණ ගුණයකින් තොරව අධික කැලරි ප්‍රමාණයක් ලැබෙයි. එම නිසා දීර්ග කාලයක් තුළ මෙම පැණි බිම වර්ග පානය කිරීම තවත් රෝග රැසකට බලපායි. විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, හදවත් රෝග, වකුගඩු රෝග, ආදියට හේතුවක් වේ. එසේම ආමාශයේ දෑවිල්ල, ඇති වීමට බලපාන අතර කුඩා දරුවන්ගේ හා වැඩිහිටියන්ගේද දත් දිරා යාමටද හේතුවක් වේ. මිට අමතරව පැණි බිම වල අඩංගු රසකාරක හා වර්ණක පිළිකා ඇති වීමට හේතුවක් විය හැක. එසේනම් නිරෝගී දිවිපෙවතක් සදහා පැණි බිම වලින් ඇත් විය යුතුය. පාසල් දරුවන් පැණි බිම පානයෙන් වැලැක්වීමට දෙමාපියන්ට, හා ගුරුවරුන්ට මහත් වගකීමක් ඇත. .

health benefits of herbal bevarages

පැණි බිම වෙනුවට පානය කළ හැකි ඕනෑතරම් දේශීය පාන වර්ග අප රටේ බහුලව තිබේ. අධික ශ්‍රී ලාංකික සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වූ මේ පාන වර්ග ප්‍රතිඔක්සිකාරක, විටමින් වර්ග, ශරීරයට අවශ්‍ය ඛනිජලවණ හා ශරීරයට ගුණදෙන තවත් බොහෝ ශාකසාරයන්ගෙන් අනුන විය. එසේම ලෙඩ රෝග රැසකින් අපව ආරක්ෂා කිරීමේ හැකියාවක්ද ඒවායෙහි ඇත. හේනේ, කුඹුරේ කය වෙහෙසා වැඩ කළ අපේ මිනිසුන් තම පිපාසාව හා වෙහෙස නිවා ගැනිම සදහා ජලයට අමතරව මෙවැනි දේශීය පාන වර්ග භාවිතය තුළින් ඔවුහු මහත් ප්‍රතිඵල ලබාගත්හ. බටහිර සංස්කෘතිය වැලද ගැනිමත් සමග සමාජයෙන් ඇත් වූ මේ ඖෂධීය පානයන් වලට නැවතත් හුරුපුරුදු වීම කාලින අවශ්‍යතාවයකි.

Translate »