සිසිල් බීම පිළිබඳ ඔබ නොදත් දේ………..

ඔබත් අධික ලෙස සිසිල් බීම පානයට හුරු වූ අයෙක් ද? එසේනම් ඒ හා ඔබ නොදන්නා පැතිකඩක් දෙසට අපි ඔබේ අවධානය යොමුකරන්නට කැමැත්තෙමු.

ලොකු කුඩා සියලු දෙනා අතර එක සේ ජනප්‍රිය  පානයක් ලෙස සිසිල් බීම   හැඳින්විය හැක. මීට වසර කීපයක කාලය හා සසඳන කල සිසිල් බීම පානය ඉහල ගොස් ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. වෙළෙඳ ප්‍රචාරක  කටයුතුවල බලපෑම මීට නොමඳව ඉවහල් වී ඇත. මුලින්ම තරුණ පරපුර ඉලක්ක කරගනිමින් ප්‍රචලිත කෙරුණු සිසිල් බීම වර්තමානයේ පවුලේ කෑම මේසය දක්වා ව්‍යාප්ත වී හමාරය.

පාසල්, ආපනශාලා, බොජුන්හල්, සුඛෝපභෝගී බොජුන්හල්,කාර්යාලීය  ආපනශාලා, උත්සව අවස්ථා ආදී සියලු තැන් අද සමාජය තුළ සිසිල් බීම කෙතරම් සුලභව හා අධිකව පරිභෝජනය වන්නේ දැයි උදාහරණ සපයනු ඇත. වඩාත්ම ඛේදනීය කරුණ නම් තරුණ පරපුර සිය ප්‍රධාන  ආහාර වේල් සමඟ පැවතිය යුතු අත්‍යවශ්‍ය අංගයක් බවට සිසිල් බීම පත්කර ගෙන තිබීමයි.

food & soft drink

ඇත්තවශයෙන්ම  සිසිල් බීම යනු කුමක්ද? සිසිල්  බීම වල ප්‍රධානම  අන්තර්ගතය වනුයේ  කාබනීකෘත  ජලය, පැණි රස ගැන්වීමේ  ද්‍රව්‍ය , කෘතිම රසකාරක  ආදියයි. මීට අමතරව කල්තබා ගැනීමේ ද්‍රව්‍ය, කෘතිම වර්ණක ආදිය එක් කරනු ලැබේ. කැෆේන් නම් වූ රසායන ද්‍රව්‍ය අන්තර්ගත සිසිල් බීම (කෝලා පාන වර්ග ) වර්ගද වඩාත් ප්‍රචලිත සිසිල් බීම වර්ගයකි. කෙසේ වෙතත් මේ සියලු ද්‍රව්‍ය වල සම්මිශ්‍රනය ඔබගේ   සෞඛ්‍යයට  හානිකර බලපැම් ඇති කරයි.වත්මන් සමාජයේ පවතින නොයෙකුත් බෝ  නොවන රෝග තත්වයයන්ට අතවනන එක් ප්‍රධාන  හේතු කාරකයක් බවට සිසිල් බීම පත් වී ඇත.

සිසිල් බීම හා ස්ථුලතාව

බොහෝ පර්යේෂණ ප්‍රථිඑලයන්ට  අනුව සිසිල්   බීම පානය හා ස්ථුලතාව අතර ඉතා පැහැදිලි සම්බන්ධතාවයක් පවතී. බොහෝමයක් සිසිල් බීම වර්ග කැලරි අධික ප්‍රමාණයක් ලබාදෙන පාන වර්ග වන අතර ඒවා ඔබගේ ශරීරයේ බර ඉහල නංවන්නේ තවත් නොයෙකුත් රෝගී තත්වයන්ට මඟ පාදමිනි.

සිසිල් බීම හා අස්ථි රෝග

සිසිල් බීම යනු අධික ලෙස පොස්පේට් අඩංගු වන පානයක් වන අතර පොස්පේට් මඟින් අස්ථි  සවිමත් වීමට අත්‍යවශ්‍ය සාධකයක් වන ආහාරයේ අඩංගු කැල්සියම් අවශෝෂණයට බාධා ඇති කරයි. මේ තත්වය ශරීරයේ අස්ථි දුර්වල කිරීමට හේතු වන අතර අවසානයේ ආතරයිටිස් වැනි රෝග තත්ව දක්වා දීර්ඝ වීමේ  අවදානම පවතී. විශේෂයෙන්ම මෙය  නව යොවුන් වියේ පසුවන දරුවන්ගේ අස්ථි නිසි ලෙස වර්ධනයට ලෙස බලාපෑම් ඇතිකළ හැක

සිසිල් බීම හා දියවැඩියාව

සාමාන්‍යයෙන් පුද්ගලයෙකු  දෛනිකව සීනි තේ හැඳි 9 ත්  (පිරිමි) – 6 ත් (ගැහැණු), (37.5-25g) ප්‍රමාණය  නොඉක්මවා පරිභෝජනය කල යුතුය. නමුත් සමහර 355ml ප්‍රමාණයේ  සිසිල් බීම කෑන් (can)  එකක  පමණක් සීනි තේ හැඳි 9-10 ත් අතර ප්‍රමාණයක්  අඩංගු වේ. එසේනම් ඔබ නොදැනුවත්වම ඔබේ ශරීරයට අධික සීනි  ප්‍රමාණයක්  සිසිල් බීම පානය නිසාවෙන්  ඇතුළු වේ. මේ නිසා  දීර්ඝ කාලීන සිසිල් බීම පානය රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය  ඉහළ  නංවා අවසානයේ දියවැඩියාව දක්වා වැඩි දියුණු  විය හැක.

සිසිල් බීම  හා හෘද රෝග

දීර්ඝ කාලයක් තිස්සේ පවතින් අධික ස්ථුලතාව, දියවැඩියාව  හෘද රෝග දක්වා සංකීර්ණ වීමේ අවදානම පවතී. අධික ලෙස කැලරි අඩංගු මෙම පාන වර්ග හේතුවෙන් රුධිරගත කොලෙස්ටෙරෝල් පප්‍රමාණය,ග්ලූකෝස් ප්‍රමාණය  ඉහළ යන අතර පසුකාලීනව හෘදයාබාධ දක්වා දීර්ඝ වීමේ අවදානම පවතී.  එසේම කැෆේන් නම් වූ රසායන ද්‍රව්‍ය අඩංගු සිසිල් බීම වර්ග  පානයට අධික ලෙස හුරු වූ පුද්ගලයන්ට හෘද රෝග වැළඳීමේ අවදානම පවතී.

සිසිල් බීම හා ස්වසන රෝග

සිසිල් බීම වලට එක් කරන නොයෙකුත් වර්ණක, කල්තබා  ගැනීමේ ද්‍රව්‍ය හේතුවෙන් ඇදුම වැනි රෝගි තත්ව උත්සන්න වීමේ හැකියාව පවතී. විශේෂයෙන් සල්ෆර් අඩංගු රසායන ද්‍රව්‍ය මීට හේතු වේ.

මීට අමතරව  කැෆේන් අන්තර්ගත සිසිල් බීම වර්ග ආහාර සමඟ පරිභෝජනය කිරීම ආහාරයේ අඩංගු පෝෂකයක් වන යකඩ අවශෝෂනයට බාධා ඇති කරයි.

ඔබ ඉතාමත් ප්‍රිය කරන සිසිල් බීම පසුපස වූ කටුක සත්‍ය  මෙයයි.සිසිල් බීම වල අහිතකර ප්‍රතිඑල වලින් වැළකීමට නම් හැකිතාක් අවම ලෙස සිසිල් බීම පානයට හුරු වන්න. ඔබ ඔබගේ සීමාවන් දැන අවස්ථානුකූලව සිසිල් බීම පානයට නුරු වීම වඩාත් යෝග්‍ය වේ.තවද ඔබේ පිපාසය සංසිඳුවා ගැනීමට ජලය පානයට හුරුවන්න.එය ඔබේ සෞඛ්‍යට වඩාත් හිතකරවනු ඇත.

එසේම වැඩිහිටියන් ලෙස ඔබ, ඔබේ දරුවාගේ සෞඛ්‍ය කෙරෙහි සැලකිලිමත්ව ඔවුන් නීරෝගි පුරවැසියන් කරවීමේ අඩිතාලම යහපත් ආහාර තෝර ගැනීම් හා  ආහාර පුරුදු තුළින් දැමීමට අද  සිටම උනන්දු වන්න.

Rate this article 1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5.00 out of 5)

Loading...

Translate »